Saturday, March 23, 2024

  බිරින්දෑ සමඟ මීමුරේ සංචාරය 

"හැමදාම යාළුවො එක්කනම් hikes යනවා. මාත් එක්ක තමයි කොහෙවත් යන්න වෙලාවක් නැත්තෙ මෙයාට " කියන වචන ටික හැමදාමඅහන්න බැරි නිසා මේ පාර දීර්ඝ සති අන්තයෙදි  මගෙ දයාබර බිරින්දැත් එක්ක නකල්ස් මායිමේ පිහිටල තියෙන සුන්දර  මීමුරේ ගම්මානය පැත්තෙ යන්න තීරණය කළා.අපි නුවරින් හුන්නස්ගිරියට ගිහින් උදෙන්ම ලූල්වත්තට යන බස් එක අල්ලගත්තා.  මීමුරේ ගමටම බස් එකේ යන්න ඕනිනම් යන්න වෙන්නෙ හවස. ඒ බස් එක යන්නෙ මේ විදියට.

  • උදේ 5ට මීමුරෙන් පිටත් වෙලා උඩුදුම්බර හරහා හුන්නස්ගිරියට එනවා.
  • උදේ 7.30 - 8.00 විතර හුන්නස්ගිරියෙන් ලූල්වත්තට එනවා (ලූල්වත්ත කියන්නෙත් හුන්නස්ගිරිය - මීමුරේ පාරෙම තියන ගමක්)
  • හවස හුන්නස්ගිරියෙ ඉඳන් මීමුරේ ගමටම එනවා ( හුන්නස්ගිරියෙන් එන time එකනම් දන්නෙ නැහැ)
අට්ටාලවෙට්ටුවට දර්ශනය වන නකල්ස් කඳු

අපිට  ඉතින්  ලූල්වත්තෙ ඉඳන්  මීමුරේට ගියේ කලින් කතා කරගත්ත  මීමුරේ   රෝසන මල්ලිගේ   tuk එකක. බස් එකේ යනවට වඩා ලොකු වියදමක් ගියත් මඟදි අපිට  ඕන  විදියට නැවති නැවති යන්න පුලුවන් වීම tuk එකේ යන එකේ වාසියක්.මේ පාර ඇත්තටම road trip එක්කටත් හොඳ ලස්සනම පාරක්. දෙපැත්තෙන්ම  තියෙන්නෙ  නවනගල , දෝතළුගල මංපෙත, දවටගල මංපෙත, ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය වගේ  ලස්සනම ලස්සන නකල්ස් කඳු වැටි. ඒ ලස්සන පාර දිගේ  හුන්නස්ගිරියෙ ඉඳන් කි.මී 17ක් වගේ මීමුරේ පැත්තට එද්දි පට්ට view point එකක් හම්බවෙනවා. මෙතෙන්ට කියන්නෙ අට්ටාලවෙට්ටුව හෙවත්Corbert's gap  (කෝබර්ට්ස් ගැප් )කියලා.  අතීතයේ ඒ ස්ථානය හඳුන්වල තියෙන්නෙ අට්ටාලමූට්ටුව කියල. කඳුවැටි 3ක් එකතු වෙනවා කියන් අර්ථයෙන් තමයි අට්ටාලමූට්ටුව කියල තියෙන්නෙ .ඒක විශාල සුලං කපොල්ලක්.සුලඟ තියෙන වෙලාවට හිටගෙන ඉන්න බැරි තරම් සුළං කියල තමයි කියන්නෙ.  ක්ෂණිකව කාලගුණය වෙනස්වෙන තැනක් .අට්ටාලවෙට්ටුව  දුම්බර කඳුවැටියෙ තිබෙන භූවිෂමතාවය හඳුනාගන්න හොඳම තැනක් කියන්න පුළුවන්.මෙතෙන්ට  දෝතලුගල, ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය, නකල්ස් ෆයිව් පීක්ස්, අළුගල් කන්ද,   ස්පින්ක්ස් රොක් 1 සහ 2 , වමාරපුගල,උඩවන්නිමාන,ලකේගල ගල් තුන ( කෝමලෑවේ ගල, මීරියගොල්ල, මීමුරේ ලකේගල), මාරටුවෙගල සහ  අප්පල්ල පතන, අළුත්දෙයියන්ගෙගල, ඇඳිරිගල වගේ දුම්බර කඳු මුදුන්  විශාල ප්‍රමාණයක්   බලාගන්න පුළුවන්. අහස පැහැදිලි දවසක මඩොල්සිම,නමුනුකුල කඳුවැටිත් දැකගන්න පුළුවන්ලු.මෙතන හන්දියෙන් තංගප්පුව පැත්තටත්  පාරක් තියෙනවා. 


අයිස් වල
දවල් 11-12 වෙද්දි අපි  මීමුරේ ගම්මානයට ලඟාවුනා. අපි නවාතැන් ගත්තෙ නවා මාමා කියල ගමේ කියන නවරත්න මාමාගෙ තැනක.  දිගු සති අන්තයක් නිසා සෑහෙන පිරිසක් ඒ වෙද්දිත් ගමට එමින් හිටියා. අපිට දවසේ පැය ගාණක වෙලාවක් ඉතිරි වෙලා තිබුනු නිසා අපි තීරණය කළා  මගේ ආසම කෙල්ලෙක්  වන සුන්දර දියකැරැල්ල කුමරියව බලල එන්න. ගමේ ඉඳන් දිය ඇල්ලට යන්න අඩි පාරක් තිබුණත් අවදානයෙන් යන්න වෙනව එහෙට මෙහෙට තව අඩි පාරවල් තියෙන නිසාත් තැන් දෙකකින්ම  ඔය  cross කරන්න තියෙන නිසාත්. දිය කැරැල්ල කුමරිය විදියට කඩාහැලෙන ඔයට කියන්නෙ දිඹිගොල්ල ඔය කියල. cross  කරන තැනට කියන්නෙ අයිස් වල කියල. මම ඒ trail එකේ කැමතිම තැනක් එතන.  ගඟ හරහා පැද්දි පැද්දිතියෙන වැල්( මං හිතන්නෙ ඒ පුස්වැල්) සහ  දැවැන්ත වෘක්ෂ රාජයින් අතරින්   වීදුරු කැටේ වගේ තියෙන වතුර ටිකට  ලාවට ඉර එලිය වැටෙද්දි තියෙන්නෙ අමුතුම ගුප්ත ලස්සනක්. එතෙන්ට අයිස් වල කියන්නෙ එතන වතුරවල තියෙන අයිස් වගේ සීතල නිසා වෙන්නඇති. අපි ඉතින් දිය ඇල්ලෙ ලස්සනත් විඳගෙන  ආපහු එන ගමන් අයිස්වල ලඟින් පොඩ්ඩක් නාගෙන ආපහු ගම බලා ගියා. නවරත්න මාමාගෙ ගෙදරට ගිහින් දවල්ට හොඳ ගමේ රසට බත් ටික්කුත් බඩ‌ට දාගෙන අපි අපේ නවාතැන්පොලට ආවා.

දියකැරැල්ල ඇල්ල ( මේකනම් වෙන දවසකදි ගත්ත එකක් මම)


වන්නිමාන උඩ
දෙවෙනි දවසෙ අපි වන්නිමාන පතනට යන්න තීරණය කළා. ගමේ මල්ලි කෙනෙකුත් එක්ක (තරංග)  උදෙන්ම පිටත් වෙලා  කන්දෙ බංඩාර දිව්‍ය රාජයා වෙනුවෙන් මීමුරේ වෙල් යාය අසල ඉදි කරල තියෙන දේවාලයටත් ගිහින් හඳුන් කූරු ටිකක් පත්තු කරල අපි ගමන පටන් ගත්තා.අපි  එතෙන්ට යන්න පටන් ගත්තෙත්  දියකැරැල්ලට තියෙන අඩිපාර පටන්ගන්න තැනින්මයි.දිඹිගොල්ල ඔය ක්රොස් කරලා ඉත්තෑගල කියන පර්වත කොටසත් පහු කරන් කන්ද දිගේ උඩටම ආවා අපි. පතන කිට්ටුව තියෙන ජල උල්පතට කලින් වතුර ගන්න තැනකට කියල  හම්බවුනේ ඉත්තෑගල ගාවින් පහළට ගලාගෙන ගිය දිය සීරාව  විතරයි. අඩි පාර නම් ගොඩක් පැහැදිලිව තිබුනෙ නැහැ.  තැනින් තැන පාර අපහැදිලියි.  යන අතරමඟදි අපිට කැඩුනු කඩුල්ලකුත් හම්බ වුනා. සාමාන්‍යයෙන්  මේ ගම් කිට්ටුව  ඒ වගේ කඩුලු බඳින්නෙ පතන්වලට ගිහින් දාන හරක් ආපහු ගම් පැත්තට, හෙල්වලට යන එක වළක්වන්න. වන්නිමානත් ඒ විදියට හරක් ගෙනිහින් දාන පතනක් වුනත් කාලෙකින් එහෙට හරක් අරගෙන ගියෙ නැති බව තමයි තරංග මල්ලි කිව්වෙ. කොහොම හරි ටිකක් පරණ ගොම්බෙටිනම් ගොඩක් කන්ද උඩ තිබුණා.දැවැන්ත වෘක්ෂ රාජයින් මැදින් හෙල් දිගේ කඳු දිගේ බඩගාගෙන අපි පතන මුදුනට ලඟා වුනා.
වන්නිමානට නකල්ස් කඳු ටික පේන විදිය

පතනට ටිකක් කිට්ටුව හම්බවුන දැවැන්ත නුග ගස අපිට හමුවුන විශේෂම ගසක් එදා.කන්ද මුදුනට හරිම ලස්සන දර්ශනයක් තියෙන්නෙ. මීමුරේ ලකේගල පර්වතය අත ලඟ වගේ දැනුනෙ. එතනින් එහා පැත්තෙ පිහිටල තියෙන නාරංගමුව ලකේගලත් , මීරියගොල්ලත්   ලස්සනට දර්ශනය වුනා.මීට අමතරව උඩ වන්නිමාන සහ බඹරගල  , තුන්හිස්ගල, අළුගල් කන්ද,   අලුත්දෙයියන්ගෙගල,  මාරටුවෙගල සහ එහි තිබෙන අප්පල්ල පතන,ඇඳිරිගල,  මීමුරේ වෙල් යාය , නා ඇල්ල,  , ගලමුදුන ගම්මානය පැත්ත,තෙලඹුගල,  කෙහෙල්පත්දෝරුවේගල, ගැරඬිගල, දුම්බානාගලත් අපිට දර්ශනය වුනා. පතන පුරාවට හීන් බෝවිටියා ඇතුලු ලස්සන ලස්සන  මල් පිපිලා තිබුනා. ඒවයෙ පැණි බොන්න ආව සමනලයින් , මී මැස්සන් වගේ සත්තුන්ගෙන් අඩුවක් තිබුනෙත් නැහැ.ඉතින් අවට අසිරිය විඳිමින් හිටපු අපි  පල්ලම් බහින්න තීරණය කළේ මුදුනට අව්වත් එන්න එන්න වැඩි වුන නිසා.කොහොම හරි  ගමට එන්න කලින්   දිඹිගොල්ල ඔයෙන් සනීප වතුර ටිකක් නාගන්නත් අමතක කළේ නැහැ.එරන්දිනම් නානව අඩුයි කොහොමත්.ඒ නිසා එයා ගමට ගිහිල්ලම නාගන්නව කිව්වා.ඉතින් එතනට වෙලා දුම්බර වතුර ටිකක් නාගෙන අපි හෙමිහිට අපේ නවාතැන්පොලට ආවා.



මේ නවාතැන්පොල ලඟ ගෙදරක ලස්සන වයසක අත්තම්මා කෙනෙකුයි සීයා කෙනෙකුයි හිටියා. ඒ දෙන්න අපිට මාර විදියට උදව් කළේ ගමට ආව වෙලාවෙ ඉඳන්.  අපි මීමුරේ ආව දවසෙ  දියකැරැල්ල ගිහින් ආවට පස්සෙ එරන්දි ටිකක් වෙහෙසෙන් ඉන්නව කියල තේරුණ අත්තම්මා   " ඔ්වා ගණන් ගන්න එපා මැණිකෙ"   කියල    එරන්දිගෙ  කකුලු තවාගන්න කියල ගොරක වතුර ජොග්ගුවකුත්  අරගෙන ආවා.   අපි ආපහු ගෙදර එන දවසෙත් උදේ පාන්දර හතර හමාරට විතර අපිට තේ ටිකකුත් හදාගෙන ආවා  අපි එපා කියද්දිත් "බස් එකේ හිස් බඩ යන්න හොඳ නෑ පුතේ " කියල.  අපේ මීමුරේ ගම්මානයේ ගෙවුනු අන්තිම හවස් යාමය අපි ගතකළේ ඒ ආදරණීය අත්තම්මා සහ සීයත් එක්ක.   හරිම ආදරණීය ජෝඩුවක්. ඒ සීයට වයස අසූ එකක් කිව්වා. ගමේ දැනට ඉන්න අයගෙන් තුන්වෙනියට වගේ වයසම ඒ සීයාලු. අත්තම්මගෙ නම රන්මැණිකා සීයා සෙනෙවිරත්න . ගමේ මිනිස්සුන්ගෙ එක එක පරම්පරාවල මිනිසුන්ගෙ වෙනස හොඳට තේරුනා ඒ දෙන්න එක්ක කතා කරද්දි. ඉස්සර හේන් කරද්දි ලැබුණු ගුප්ත අත්දැකීම්, මීමුරේ ට පබැඳුණු කවි,  කාලයත් එක්ක මීමුරේ ගම්පෙරලිය සිදුවුනු ආකාරය  වගේ මීමුරේ ගම්මානය ආශ්‍රිත දේවල් ගොඩක් ඒ දෙන්න එක්ක කතා කළා. 

සෙනෙවිරත්න සීයා
මම සමාජ මාධ්‍යයේ ලිපි කියවල තිබුණා  ඉස්සර මීමුරේ මිනිස්සු හරිම කරුණාවන්තයි.  ආගන්තුක සත්කාරයන් හරිම ආදරණීයයි, ඒත් දැන් කාලය එක්ක ඒ මිනිස්සුත් වාණිජකරණය වෙලා කියලා.සමහර විට අපිට මුණ ගැහුණු සෙනෙවිරත්න සීයාත්   රන්මැණිකා අත්තම්මාත්   ඒ පැරණි මීමුරේ පරපුරේ අවසන් පුරුකේ   රැකිලා  තියෙන රන් මැණික් දෙකක් වෙන්න ඇති වෙන්න ඇති. ඇත්තටම මීමුරේ චාරිකාවෙ අපිට හම්බවුණු වටිනම අත්දැකීම එයාලා දෙන්න එක්ක ඉන්න ලැබුණු කාලය කිව්වොත් හරි.  දැන්  ගොඩක් අය මීමුරේ ආවම කරන්නෙ  සූරිය අරණ ෆිල්ම් ලොකේෂන් එකේ බුරුස් ගලේ ලෙස්සල, පහල වලට confidence jump  එකක් දාලා හවස් වෙලා බාබකිව් එකක් දාගෙන ෂොට් එකක් දාලා පා‌ටි වයිබ් එකක් ගන්න එක .ඒත්  ඊට වඩා වෙනස්   සුන්දර අත්දැකීම් ටිකක් ලබාගන්න අපි වාසනාවන්ත වුණා. අපි ඊලඟ දවසෙ පාන්දරම ඉතින් මීමුරේ බස් එකේ නැගල ආපහු අපේ ගම්බිම් බලා  ඇවිත් අපේ සුන්දර චාරිකාව අවසන් කළා. මේ චාරිකාවෙ රූපමය මතකය මගේ යූටියුබ් චැනල් එකෙන් බලන්න පුලුවන්. එහෙනම්   තව දවසක මුණගැහෙනකන්  හැමෝටම ජය!!!

  ~ ගයියා




කන්දෙ බණ්ඩාර දිව්‍ය රාජයා වෙනුවෙන් ඉදිකරල තියෙන දේවාලය

මීමුරේ වෙල්යාය






No comments:

Post a Comment

කඳුගැට බැස බැස නාරංඅත්තට

   ඉතින් ගමන ගැන  photos එක්කම කියවන් යන්නකො.  ඇත්තටම අපේ ප්‍රධාන target එක වුණේ නාරංඅත්තට බහින එකමත් නෙමෙයි.  ඒ target එක miss වුණා. මොනව ක...