මේක අවුරුදු කීපයකට කලින් ගිය ගමනක්. ඒ දවස්වල මම එක්තරා සිද්ධියක් හින්දා පොඩ්ඩක් අවුල් ගහල හිටියෙ. ඉතින් ඒ වගේ අසනීපයකටත් නොවරදින ඔසුව දවස් කීපයකට ශිෂ්ටාචාරයෙන් සමු අරන් වනගතවෙන එකනෙ. ඉතින් වෙනද වගේම ගමන් සගයො ලිස්ට් එකට ඇමතුම් දිගට හරහට ගත්තා.
ඉතින් තව
තුන් දෙනෙක් ගමනට එකතුවෙන්න කැමති වුණා. පුරුදු පරිදි මිලාන් අයියත්, කෙෳෂිකත් එකතු
වුණා. ඊට අමතරව දමිත් කියල සුපිරි කොල්ලෙකුත් සෙට් වුනා. Rock n roll man සුපුන් පොල්ල තිබ්බා. අපි මේ ගමන යොදාගත්තෙ අවුරුද්දෙ
අන්තිම දවස් සහ ඊට පස්සෙ අවුරුද්දෙ මුල්ම දවස් සෙට්වෙන විදියට.
අපි කාලෙක
ඉඳන් යන්න බලන් හිටිය ගමනක් වුණ KMP වාඩියේ ඉඳන් මීමුරේ ගමට බහින එක තමයි
අපේ ටාගට් එක වුණේ. ලෙබනන් වත්ත හරහා රත්නගිරි කන්දෙන් කැලේට දාලා අපි ගමන පටන් ගත්තා.
රැහැන කෙටූ පතනට යනකම් අඩි පාර පැහැදිලිව තිබුණත්
පතනින් මීමුරේට යන අඩිපාර පැහැදිලි නැති එකක්
කියල අපි අහල තිබුණා. ඒ හින්දා මැප් එකකුත් එක්ක යන එක තමයි නුවණට හුරු.ඒ හින්දා හිතවත්
කඳු නගින්නෙක්ගෙන් ඉල්ලගත්ත kmz file එකක් අපේ දුරකථනවලට අපි ලෝඩ් කරගෙන තිබුණෙ.
අපි
කැලේට ඇතුල්වෙන තැනින් කොල අත්තකුත් එල්ලලා, දෙවියන්ටත් බාරහාර වෙලා ගමන පටන් ගද්දි
අහසෙ පොඩි බරගතියක් තිබුණා. මේ අඩි පාර වාඩියටම
යනකන් පැහැදිලිව තියෙනවා.
වාඩිය
තෙක් යද්දි මග සලකුණු විදියට හම්බවෙන්නෙ මුලින්ම දිය කඩිත්තක් ලඟ දේවාලයක්, ට්‍රැක් එකේ උසම
හරියෙ පීක් එකක් වගේ එලිමහන් තැනිතලා ප්‍රදේශයක් ( සෙල්වකන්ද කිට්ටුව) ඊට පස්සෙ වතුර පීල්ලක්, කුඩාඇලමඟ, සහ මහගඟ.
තුන්හිස්ගල
ට්‍රේල් එක හරියෙදි අපි දවල්ට කන්න අරගෙන ආව බත් ටික කෑවා. ඊට පස්සෙ කෙලින්ම අඩි පාර
දගේ රැහැන කෙටූ පතනටම යනකම් ගියා. හවස හතර විතර වුණා මට මතක විදියට අපි එතෙන්ට එද්දි.ගස්
අස්සෙ අඳුරෙ ඇවිල්ලා ඇවිල්ලා එක පාරටම එලිමහන් පතන ආවම ඈතින් ලකේගලයි, මීමුරේ වෙල්
යායයි දකිද්දි හෙන ආතල්.
අපි රෑ බෝවෙන්න කලින් කූඩාරම් දෙකත් අටවගන්න පටන් ගත්තා. එදා ලොකු හුළඟක් නම් තිබුණෙ නැහැ. අඩ සඳ පායලා ඒ එලියෙන් හැඩවුන ගස් මීදුමත් එක්ක මැව්වෙ සුන්දර දර්ශනයක්. අපි ගල්තලාව උඩ ඉඳගෙන අල්ලාප සල්ලාපයේ සමාජ මාධ්‍ය අසනීපයෙන් මිදිලා අර ලෝකෙ අමතක කරල මේ ලෝකෙ විඳිමින් හිටියා. ඉතින් කට්ට කාගෙන පැය ගණන් ඇවිදන් ඇවිල්ල එහෙම කූඩාරමක් ගහගෙන කැලයක් මැද්දෙ ඉද්දි ගෙවෙන මොහොතවල් ජීවත් වෙනවා කියල දැනෙන මොහොතවල්.
![]() |
පහුවදා උදේම නැගිටලා අපි පැය තුන හතරක් විවේකී සුවයෙන් හිටියා. උදේ අපි ගල්තලාව උඩ දිගාවෙලා වනාන්තර ගීත අහගෙන හිටියා. ඒ අතරෙ ෆොටෝ ටිකකුත් ගහගත්තා.
අපි හිතන් හිටියෙනම් ඉක්මනින් දියකැරුල්ල දියඇල්ල හරියට බැහැගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මීමුරේ හන්දියෙ ඉඳන්ම අඩි පාර අපැහැදිලි ගතියක් තමයි තිබුණෙ. අපි මැප් එකත් බලාගෙන ඉස්සරහට ගියා. එහෙම යද්දි සමහර තැන්වලදි එක පාරටම අඩි පාර මතු වෙනවා.ආයෙ ටිකකින් නැති වෙනවා. ඒ සමහරක් සත්තුන්ගෙ අඩිපාරවල් වෙන්නත් පුළුවන්. ඒ යන අතරමඟදි චූටි දියඇල්ලකුත් හම්බවුනා අපිට. අපි මැප් එකේ විදියටම ගියත් ටික දුරක් යද්දි අපි යන්නෙ හරි පාරෙ නෙමෙයි කියල අපට තේරුණා. අඩි පාර නැතිම වෙලා ගියා. පට්ට හෙල් දිගේ ගල් දිගේ ගස් වැල්වල එල්ලි එල්ලි අපි ඒත් ඉස්සරහට ගියා. ඔහොම යද්දි ඔන්න දෙයියනේ අපට ටිකක් උඩින් කැලේ මැද්දෙ එලිමහන් තැනක තියෙනව පොඩි ගෙයක්. මේ අඩි පාරෙ යද්දි පරණ අඹගහගෙදර වාඩිය හම්බවෙනව කියල අහල තිබුණා. ඒ හින්ද අපි හිතුවා මේ හම්බවෙන්න ඇත්තෙ එතන කියල. ඒත් අපට කලින් මේ ගමන ගියපු සහෝදරයෙක්ගෙ වීඩියෝ එකක් දැක්කම තමයි පෙනුනෙ මේ එතන නෙමෙයි කියල. අදටත් දන්නෑ. නමක් නැති පොඩි වාඩියක් වෙන්න ඇති.එතනත් අමුතුම ගුප්ත ආතල් එකක් තිබුණෙ. පට්ට කැලේ මැද්දෙ එක තැනකට විතරක් ලාවට ඉර එලියක් වැටෙනවා. අඩියක් දෙකක් විතර උස තණකොල විශේෂයක් වගේ වැවුණු එතන ගරා වැටුනු ගොඩනැගිල්ලක්.
ඒ
හරියෙ අඩිපාර ගෙවිල තිබුණ ටිකක්. ඉතින් ඒ අඩිපාරෙත් ටික දුරක් ගියාම.. මොකුත් නෑ අඩි
පාර ඉවරයි. අපි උඩට පහලට එහෙට මෙහෙට හවස් වෙනකන් ඇවිද්දා.පීක් එකකටත් ගියා. එතනට නැග්ගම
ලකේගලට කෙලින්ම ඉස්සරහින් ඉන්නව වගේ අපි. මාර ලස්සනයි. ඒක දැක්කම හිතුනා යකෝ අපි තව
කොච්චරක් පහලට බහින්න තියෙද ඔයේ ලෙවල් එකට යන්න.
කැලේ නීති වෙනස්. කැලෙන් පිට ලෝකෙට ඉර බහින්න කලින් කැලේ අඳුරු වෙන්න පටන් ගන්නවා. අඳුරු වෙද්දි අනතුරුත් වැඩියි. සතා සර්පයොත් එලි බහිනවා. පාරවල් පේන්නෙත් නැහැ. කරන්න දෙයක් නැහැ අතාරින්න බැහැ. එහෙන් මෙහෙන් කැරකිලා ගිහින් ඔන්න අඳුරෙම අපි ආපහු අඩි පාරකට වැටුනා. මේ අඩිපාරෙ ඊතල එහෙමත් ගහල තිබ්බා. ගල්ගුහාවකුත් හම්බවුනා. ඒවයින් දැනගත්තා පාර හරි කියල. ඒත් වැඩි දුරක් යන්න උනේ නැහැ ආයෙත් පාර missing. දැන් තවත් රෑ වෙලා පාරවල් හරියට පේන්නෙම නැහැ. ඉතින් ඉස්සරහින් කොහොම කඳු හෙල් සෙට්වෙයිද දන්නැති හින්දත් අපි තීරණය කලා එදාට ගමන නවත්තන එක හොඳයි කියලා. වතුර පාරක් සහ වියලුන දියඇල්ලක් කිට්ටුව අපි එක ටෙන්ට් එකක් විතරක් සෙටප් කරගත්තා. එදා දෙසැම්බර් 31. ජීවිතේ පළමුවෙනි වතාවට කැලෑවක් මැද්දෙ අපි කාලා බීල අවුරුද්ද සැමරුවා.
ජනවාරි පළවෙනිදා උදේම නැගිටල අපි හිතුවා kmz බලන් යන්න ඔ්න නැහැ. අඩි පාරවල් හොයන්න ඔ්නත් නැහැ. ඔයේ ලෙවල් එකට බැහැගන්නනෙ තියෙන්නෙ කියලා. නැවතුන තැනින් කැලේ කඩාගෙන බහින්න පටන්ගත්තා. ඒත් අපට ටික දුරක් යද්දි තමයි තේරුනේ පට්ට හෙලකට අපි යන්නෙ කියල.ඊට පස්සෙ අපි ට්‍රයි කලා ටෙරේන් එක බලල කන්ද වටෙන් ගිහින් බැහැගන්න පුළුවන්ද බලන්න. එහෙම හිතාගෙන අපි පහලට නොයා කන්ද දිගේ උඩට ගියා. මෙහෙම යද්දිත් අපට පැහැදිලි අඩි පාරක් සහ මෑතකදි පාර සුද්ද වෙන්න අතු කපපුව හම්බවුනා. ඉතින් අපි මෙහෙම කන්ද දිගේ ගිහින් තවත් පීක් එක්කට ආවා. එතෙන්ට අළුගල් කන්ද, ගඟබොක්ක, තුන්හිස්ගල, උඩවන්නිමාන, වන්නිමාන, ලකේගල ආදී කඳු ඔක්කොම ලස්සනට පෙනුනා. අළුගල් කන්දෙ දියඇලි ටිකකුත් පෙනුනා. මම හිතන්නෙ ඒ වෙලාවෙ අපි ඒ හිටියෙ දෙයියන්නෙගල/ අළුත්දෙයියන්නෙගල කියල හැඳින්වෙන කන්ද මුදුනෙ.
![]() |
අළුගල් කන්ද |
![]() |
දියඇලි |
අපි
ඉතින් හිතපු විදියට කන්ද වටෙන් බහින්නත් බෑ කියල ටික දුරක් ගියාම තේරුණා. ලංලංව තිබුණ
ගන කුරුගස් වනන්තරයක් අපට ඉස්සරහින්. ඒව කඩාගෙන යන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.අපි
ඒ වෙලාවෙ සෑහෙන්න මානසිකව වැටුනා. දැන් ලඟ පාතක ආපු පාරත් නෑ යන්න ඔ්න පාරත් නෑ . හිතෙන් දෙයියන්ට කිය කිය අපි ආපස්සට ආවා. කොහොමෙන්
කොහොමහරි අපි ආපහු කලින් දවසෙ හිටපු ඉසව්වට ආවා. ඊට පස්සෙ කට්ටිය කතාවෙනවා
“අපි එහෙනන් උඩහට ආපහු ගිහින් KMP trail එකට යමු’’
ඒත්
ඒකත් හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. අඩි පාරත් පැහැදිලි නැහැ. අපි මේ ටික බැහැගත්තෙත්
කොච්චර අමාරුවෙන්ද? අපි බාගයක් බැහැලත් එක්ක.
ඉතින්
මේ වෙලාවෙ අපේ එක්කෙනෙක් පහලට අත දික්කරල කියනවා
‘‘අඩෝ අතන අඩි පාරක්ද මන්ද තියෙන්නෙ පොඩ්ඩක් බලමුද’’
කියල.
මේ
වෙද්දි දවස් තුනක්ම අඩි පාරවල් කියල සත්තුන්ගෙ පාරවල්වලම ගිහිල්ල හැමෝටම අඩි පාරවල්
අනුමාන කරන එක එපා වෙලා හිටියෙ.
‘‘උඹ
බලපන් ඔ්නනම්. මටනම් බෑ තවත්’’ තව එකෙක් කිව්වා.
අනික්
උන්ගෙනුත් සද්දයක් නෑ.
ඊට පස්සෙ අඩිපාර දැකපු එකාම පොඩ්ඩක් පහලට බැහැලා බැලුවා.දෙවියො පිහිටවුනා වගේ ඒ වෙලාවෙ අපට.
‘අඩෝ බැහැපල්ල බැහැපල්ලා පාර හරි’’ අරූ විශ්වාසෙන්ම කිව්වා.
බැහැල බලද්දි ඌ හරි තමයි.අඩි පාරෙ මංසලකුණක් වුන තවත් චූටි ගල්ගුහාවක් එතනම.
ඊට පස්සෙ කට්ටියම බහින්න පටන්ගත්තා පහලට. මඟදි mobile phonesවලට සිග්නල් එහෙමත් ආවා. ඒ පාරනම් කරදරයක් නැතිව පහලට බැහැගෙන ගමනේ සංදිස්ථානයක් වන උඩ වන්නිමාන රුප්පෙ ලඟට අපි ආවා.
දුම්බර ආශ්‍රිතව සංචාරය කරද්දි මුනගැසෙන විශේෂ ස්ථානයක් තමයි රුප්පයක් කියන්නෙ. ගම් ආශ්‍රිත ප්‍රදේශවල අම්බලම් තියෙනවා වගේ දුම්බර වනගත මාර්ග ආශ්‍රිතව තියෙන එක්තරා විදියක වන අම්බලම් වර්ගයක් කියන්නත් පුළුවන් මේවට . වනගත මාර්ගයක ගමන් කරද්දි අතරමඟදි ගිමන්හරින්නත්, දෙවියන්ට භාරවෙන ස්ථානයක් විදියටත් මේ ස්ථාන භාවිත වෙනවා .කඩවක රුප්පය ,උඩවන්නිමාන රුප්පය ,නාරංඅත්ත රුප්පය වගේ විවිධ නම් මේ රුප්පවලට මිනිසුන් යොදල තියෙනවා. මම හිතන විදියට අපි මේ නැවතුණු රුප්පෙ තමයි උඩවන්නිමාන රුප්පෙ කියන්නෙ.යම් වපසරියක කුඩා තැනිතලා බිමක ගල් ආසන කිහිපයක් තමයි මෙතන තිබුණෙ.එතනම එහාපැත්තෙ කන්ද උඩින් ගලාගෙන ආව දිය පහරකුත් තිබුණා. වැස්ස කාලෙට එතන දියඇල්ලක් හැදෙනව ඇති. හරිම සුන්දර තැනක්. එතනට මුලින්ම ගියපු ගමන් ආව පළවෙනි සිතුවිල්ල තමයි මේ වගේ ලස්සන තැන්වලනම් ඇත්තටම දෙවියන් වැඩ ඉන්නව ඇති කියන එක .
දැන් ඉතින් බයවෙන්න දෙයක් නැති තරම්. දැන් ගමේ වගේ තමයි. දියකැරුල්ල ඇල්ල මුදුනෙ තමයි මේ රුප්පෙ තියෙන්නෙ. වෙලාවත් තියෙන නිසා ගමට යන්න කලින් පොඩ්ඩක් ඔය දිගේ අපි උඩට ගියා. මෙහෙම යද්දි තව පොඩි දියඇල්ලක් හම්බවෙනවා. ඒක මම හිතන්නෙ සේදමල් ඇල්ල.
![]() |
උඩවන්නිමාන රුප්පෙ |
No comments:
Post a Comment