Saturday, May 10, 2025

රැහැන කෙටූ පතනින් මීමුරේ ගිය හැටි

 

මේක අවුරුදු කීපයකට කලින් ගිය ගමනක්. ඒ දවස්වල මම  එක්තරා සිද්ධියක් හින්දා පොඩ්ඩක් අවුල් ගහල  හිටියෙ. ඉතින් ඒ වගේ අසනීපයකටත් නොවරදින ඔසුව දවස් කීපයකට ශිෂ්ටාචාරයෙන් සමු අරන් වනගතවෙන එකනෙ. ඉතින් වෙනද වගේම ගමන් සගයො ලිස්ට් එකට ඇමතුම් දිගට හරහට ගත්තා.  


ඉතින් තව තුන් දෙනෙක් ගමනට එකතුවෙන්න කැමති වුණා. පුරුදු පරිදි මිලාන් අයියත්, කෙෳෂිකත් එකතු වුණා. ඊට අමතරව දමිත් කියල සුපිරි කොල්ලෙකුත් සෙට් වුනා. Rock n roll man සුපුන් පොල්ල තිබ්බා. අපි මේ ගමන යොදාගත්තෙ අවුරුද්දෙ අන්තිම දවස් සහ ඊට පස්සෙ අවුරුද්දෙ මුල්ම දවස් සෙට්වෙන විදියට.

අපි කාලෙක ඉඳන් යන්න බලන් හිටිය ගමනක් වුණ KMP වාඩියේ ඉඳන් මීමුරේ ගමට බහින එක තමයි අපේ ටාගට් එක වුණේ. ලෙබනන් වත්ත හරහා රත්නගිරි කන්දෙන් කැලේට දාලා අපි ගමන පටන් ගත්තා. රැහැන කෙටූ පතනට යනකම්  අඩි පාර පැහැදිලිව තිබුණත්  පතනින් මීමුරේට යන අඩිපාර පැහැදිලි නැති එකක් කියල අපි අහල තිබුණා. ඒ හින්දා මැප් එකකුත් එක්ක යන එක තමයි නුවණට හුරු.ඒ හින්දා හිතවත් කඳු නගින්නෙක්ගෙන් ඉල්ලගත්ත kmz file එකක් අපේ දුරකථනවලට අපි ලෝඩ් කරගෙන තිබුණෙ. 

අපි කැලේට ඇතුල්වෙන තැනින් කොල අත්තකුත් එල්ලලා, දෙවියන්ටත් බාරහාර වෙලා ගමන පටන් ගද්දි අහසෙ පොඩි බරගතියක් තිබුණා.  මේ අඩි පාර වාඩියටම යනකන් පැහැදිලිව තියෙනවා.

වාඩිය තෙක් යද්දි  මග සලකුණු විදියට හම්බවෙන්නෙ  මුලින්ම දිය කඩිත්තක් ලඟ දේවාලයක්, ට්‍රැක් එකේ උසම හරියෙ පීක් එකක් වගේ එලිමහන් තැනිතලා ප්‍රදේශයක් ( සෙල්වකන්ද කිට්ටුව)   ඊට පස්සෙ වතුර පීල්ලක්, කුඩාඇලමඟ, සහ  මහගඟ.

වාඩිය කිට්ටුවදි අපට මහතුන් මාමාත් මුණගැහුනා. මාමා ගම පැත්තට යන ගමන් හිටියෙ.  මාමා අපට කිව්වා  මහන්සිනම්  අද  වාඩියෙ ඉන්න  කියලා. අපිට රැහැන කෙටූ පතනටම යන්න වෙලාව තිබුණ නිසා අපි වාඩිය වටේ නිකන් රවුමක් දාලා හනික ආපහු ගමන පටන් ගත්තා.  යන්න කලින් පීල්ල  පැත්තටත් ටිකක් ඔළුව දැම්ම  එතන මම වාඩියෙ කැමතිම තැනක් නිසා.  ඈත ගස් කොලන් දිහා බලාගෙන  පීල්ලෙන් නාද්දි තියෙන ආතල් එක එතනින් නාගත්ත අය දන්නව.

තුන්හිස්ගල ට්‍රේල් එක හරියෙදි අපි දවල්ට කන්න අරගෙන ආව බත් ටික කෑවා. ඊට පස්සෙ කෙලින්ම අඩි පාර දගේ රැහැන කෙටූ පතනටම යනකම් ගියා. හවස හතර විතර වුණා මට මතක විදියට අපි එතෙන්ට එද්දි.ගස් අස්සෙ අඳුරෙ ඇවිල්ලා ඇවිල්ලා එක පාරටම එලිමහන් පතන ආවම ඈතින් ලකේගලයි, මීමුරේ වෙල් යායයි දකිද්දි හෙන ආතල්.



අපි රෑ බෝවෙන්න කලින් කූඩාරම් දෙකත් අටවගන්න පටන් ගත්තා. එදා ලොකු හුළඟක් නම් තිබුණෙ නැහැ. අඩ සඳ පායලා ඒ එලියෙන්  හැඩවුන ගස්  මීදුමත් එක්ක මැව්වෙ සුන්දර දර්ශනයක්. අපි ගල්තලාව උඩ ඉඳගෙන අල්ලාප සල්ලාපයේ සමාජ මාධ්‍ය අසනීපයෙන් මිදිලා අර ලෝකෙ අමතක කරල මේ ලෝකෙ විඳිමින් හිටියා. ඉතින් කට්ට කාගෙන පැය ගණන් ඇවිදන් ඇවිල්ල එහෙම කූඩාරමක් ගහගෙන කැලයක් මැද්දෙ  ඉද්දි ගෙවෙන මොහොතවල් ජීවත් වෙනවා කියල දැනෙන මොහොතවල්.


පහුවදා උදේම නැගිටලා අපි පැය තුන හතරක් විවේකී සුවයෙන් හිටියා. උදේ අපි ගල්තලාව උඩ දිගාවෙලා වනාන්තර ගීත අහගෙන හිටියා.  ඒ අතරෙ ෆොටෝ ටිකකුත් ගහගත්තා. 





අපි හිතන් හිටියෙනම්  ඉක්මනින් දියකැරුල්ල දියඇල්ල හරියට බැහැගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මීමුරේ හන්දියෙ ඉඳන්ම අඩි පාර අපැහැදිලි ගතියක් තමයි තිබුණෙ. අපි මැප් එකත් බලාගෙන ඉස්සරහට ගියා. එහෙම යද්දි සමහර තැන්වලදි එක පාරටම අඩි පාර මතු වෙනවා.ආයෙ ටිකකින් නැති වෙනවා. ඒ සමහරක් සත්තුන්ගෙ අඩිපාරවල් වෙන්නත් පුළුවන්. ඒ යන අතරමඟදි චූටි දියඇල්ලකුත් හම්බවුනා අපිට. අපි මැප් එකේ විදියටම ගියත් ටික දුරක් යද්දි අපි යන්නෙ හරි පාරෙ නෙමෙයි කියල අපට තේරුණා. අඩි පාර නැතිම වෙලා ගියා. පට්ට හෙල් දිගේ ගල් දිගේ  ගස් වැල්වල එල්ලි එල්ලි අපි ඒත් ඉස්සරහට ගියා. ඔහොම යද්දි ඔන්න දෙයියනේ අපට ටිකක් උඩින් කැලේ මැද්දෙ එලිමහන් තැනක තියෙනව පොඩි ගෙයක්. මේ අඩි පාරෙ යද්දි  පරණ අඹගහගෙදර වාඩිය හම්බවෙනව කියල අහල තිබුණා. ඒ හින්ද අපි හිතුවා මේ හම්බවෙන්න ඇත්තෙ එතන කියල. ඒත් අපට කලින් මේ ගමන ගියපු සහෝදරයෙක්ගෙ වීඩියෝ එකක් දැක්කම තමයි පෙනුනෙ මේ එතන නෙමෙයි කියල. අදටත් දන්නෑ. නමක් නැති පොඩි වාඩියක් වෙන්න ඇති.එතනත් අමුතුම  ගුප්ත ආතල් එකක් තිබුණෙ. පට්ට කැලේ මැද්දෙ එක තැනකට විතරක් ලාවට ඉර එලියක් වැටෙනවා.  අඩියක් දෙකක් විතර උස  තණකොල විශේෂයක් වගේ වැවුණු එතන ගරා වැටුනු ගොඩනැගිල්ලක්.


ඒ හරියෙ අඩිපාර ගෙවිල තිබුණ ටිකක්. ඉතින් ඒ අඩිපාරෙත් ටික දුරක් ගියාම.. මොකුත් නෑ අඩි පාර ඉවරයි. අපි උඩට පහලට එහෙට මෙහෙට හවස් වෙනකන් ඇවිද්දා.පීක් එකකටත් ගියා. එතනට නැග්ගම ලකේගලට කෙලින්ම ඉස්සරහින් ඉන්නව වගේ අපි. මාර ලස්සනයි. ඒක දැක්කම හිතුනා යකෝ අපි තව කොච්චරක් පහලට බහින්න තියෙද ඔයේ ලෙවල් එකට යන්න.

කැලේ නීති වෙනස්. කැලෙන් පිට ලෝකෙට ඉර බහින්න කලින් කැලේ අඳුරු වෙන්න පටන් ගන්නවා. අඳුරු වෙද්දි අනතුරුත් වැඩියි. සතා සර්පයොත් එලි බහිනවා. පාරවල් පේන්නෙත් නැහැ. කරන්න දෙයක් නැහැ අතාරින්න බැහැ. එහෙන් මෙහෙන් කැරකිලා ගිහින් ඔන්න අඳුරෙම අපි ආපහු අඩි පාරකට වැටුනා. මේ අඩිපාරෙ ඊතල එහෙමත් ගහල තිබ්බා. ගල්ගුහාවකුත් හම්බවුනා. ඒවයින් දැනගත්තා පාර හරි කියල. ඒත් වැඩි දුරක් යන්න උනේ නැහැ ආයෙත් පාර missing.  දැන් තවත් රෑ වෙලා පාරවල් හරියට පේන්නෙම නැහැ.  ඉතින්  ඉස්සරහින් කොහොම කඳු හෙල් සෙට්වෙයිද දන්නැති හින්දත් අපි තීරණය කලා එදාට ගමන නවත්තන එක හොඳයි කියලා. වතුර පාරක් සහ වියලුන දියඇල්ලක් කිට්ටුව අපි එක ටෙන්ට් එකක් විතරක් සෙටප් කරගත්තා.  එදා දෙසැම්බර් 31. ජීවිතේ පළමුවෙනි වතාවට කැලෑවක් මැද්දෙ  අපි කාලා බීල අවුරුද්ද  සැමරුවා.


ජනවාරි පළවෙනිදා  උදේම නැගිටල අපි හිතුවා kmz බලන් යන්න ඔ්න නැහැ. අඩි පාරවල් හොයන්න ඔ්නත් නැහැ.  ඔයේ ලෙවල් එකට බැහැගන්නනෙ තියෙන්නෙ කියලා. නැවතුන තැනින් කැලේ කඩාගෙන බහින්න පටන්ගත්තා. ඒත් අපට ටික දුරක් යද්දි තමයි තේරුනේ පට්ට හෙලකට අපි යන්නෙ කියල.ඊට පස්සෙ අපි ට්‍රයි කලා ටෙරේන් එක බලල කන්ද වටෙන් ගිහින් බැහැගන්න පුළුවන්ද බලන්න. එහෙම හිතාගෙන අපි පහලට නොයා  කන්ද දිගේ උඩට ගියා. මෙහෙම යද්දිත් අපට පැහැදිලි අඩි පාරක් සහ මෑතකදි පාර සුද්ද වෙන්න අතු කපපුව හම්බවුනා. ඉතින් අපි මෙහෙම කන්ද දිගේ ගිහින් තවත් පීක් එක්කට ආවා. එතෙන්ට අළුගල් කන්ද, ගඟබොක්ක, තුන්හිස්ගල, උඩවන්නිමාන, වන්නිමාන, ලකේගල ආදී කඳු ඔක්කොම ලස්සනට පෙනුනා. අළුගල් කන්දෙ දියඇලි ටිකකුත් පෙනුනා. මම හිතන්නෙ ඒ වෙලාවෙ අපි ඒ හිටියෙ දෙයියන්නෙගල/ අළුත්දෙයියන්නෙගල කියල හැඳින්වෙන කන්ද මුදුනෙ.


අළුගල් කන්ද

දියඇලි

අපි ඉතින් හිතපු විදියට කන්ද වටෙන් බහින්නත් බෑ කියල ටික දුරක් ගියාම තේරුණා. ලංලංව තිබුණ ගන කුරුගස් වනන්තරයක් අපට ඉස්සරහින්. ඒව කඩාගෙන යන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.අපි ඒ වෙලාවෙ සෑහෙන්න මානසිකව වැටුනා. දැන් ලඟ පාතක ආපු පාරත් නෑ යන්න ඔ්න පාරත් නෑ .  හිතෙන් දෙයියන්ට කිය කිය අපි ආපස්සට ආවා. කොහොමෙන් කොහොමහරි අපි ආපහු කලින් දවසෙ හිටපු ඉසව්වට ආවා. ඊට පස්සෙ කට්ටිය කතාවෙනවා

 “අපි එහෙනන් උඩහට ආපහු ගිහින් KMP trail එකට යමු’’

ඒත් ඒකත් හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. අඩි පාරත් පැහැදිලි නැහැ. අපි මේ ටික බැහැගත්තෙත් කොච්චර අමාරුවෙන්ද?  අපි බාගයක් බැහැලත් එක්ක.

ඉතින් මේ වෙලාවෙ අපේ එක්කෙනෙක් පහලට අත දික්කරල කියනවා

 ‘‘අඩෝ අතන අඩි පාරක්ද මන්ද තියෙන්නෙ පොඩ්ඩක් බලමුද’’ කියල.

මේ වෙද්දි දවස් තුනක්ම අඩි පාරවල් කියල සත්තුන්ගෙ පාරවල්වලම ගිහිල්ල හැමෝටම අඩි පාරවල් අනුමාන කරන එක එපා වෙලා හිටියෙ.

‘‘උඹ බලපන් ඔ්නනම්. මටනම් බෑ තවත්’’ තව එකෙක් කිව්වා.

අනික් උන්ගෙනුත් සද්දයක් නෑ.

ඊට පස්සෙ අඩිපාර දැකපු එකාම පොඩ්ඩක් පහලට බැහැලා බැලුවා.දෙවියො පිහිටවුනා වගේ ඒ වෙලාවෙ අපට.

‘අඩෝ බැහැපල්ල බැහැපල්ලා පාර හරි’’ අරූ  විශ්වාසෙන්ම කිව්වා. 

බැහැල බලද්දි ඌ හරි තමයි.අඩි පාරෙ මංසලකුණක් වුන තවත් චූටි ගල්ගුහාවක් එතනම.

ඊට පස්සෙ කට්ටියම බහින්න පටන්ගත්තා පහලට. මඟදි  mobile phonesවලට සිග්නල් එහෙමත් ආවා. ඒ පාරනම් කරදරයක් නැතිව පහලට බැහැගෙන ගමනේ සංදිස්ථානයක් වන උඩ වන්නිමාන රුප්පෙ ලඟට අපි ආවා. 

දුම්බර ආශ්‍රිතව සංචාරය කරද්දි මුනගැසෙන විශේෂ ස්ථානයක් තමයි රුප්පයක් කියන්නෙ. ගම් ආශ්‍රිත ප්‍රදේශවල අම්බලම් තියෙනවා වගේ දුම්බර වනගත මාර්ග ආශ්‍රිතව තියෙන එක්තරා විදියක වන අම්බලම් වර්ගයක් කියන්නත් පුළුවන් මේවට . වනගත මාර්ගයක ගමන් කරද්දි අතරමඟදි ගිමන්හරින්නත්, දෙවියන්ට භාරවෙන ස්ථානයක් විදියටත් මේ ස්ථාන භාවිත වෙනවා .කඩවක රුප්පය ,උඩවන්නිමාන රුප්පය ,නාරංඅත්ත රුප්පය වගේ විවිධ නම් මේ රුප්පවලට මිනිසුන් යොදල තියෙනවා. මම හිතන විදියට අපි මේ නැවතුණු රුප්පෙ තමයි උඩවන්නිමාන රුප්පෙ කියන්නෙ.යම් වපසරියක කුඩා තැනිතලා බිමක ගල් ආසන කිහිපයක් තමයි මෙතන තිබුණෙ.එතනම එහාපැත්තෙ කන්ද උඩින් ගලාගෙන ආව දිය පහරකුත් තිබුණා. වැස්ස කාලෙට එතන දියඇල්ලක් හැදෙනව ඇති. හරිම සුන්දර තැනක්. එතනට මුලින්ම ගියපු ගමන් ආව පළවෙනි සිතුවිල්ල තමයි මේ වගේ ලස්සන තැන්වලනම් ඇත්තටම දෙවියන් වැඩ ඉන්නව ඇති කියන එක .

දැන් ඉතින් බයවෙන්න දෙයක් නැති තරම්. දැන් ගමේ වගේ තමයි. දියකැරුල්ල ඇල්ල මුදුනෙ තමයි මේ රුප්පෙ තියෙන්නෙ. වෙලාවත් තියෙන නිසා ගමට යන්න කලින් පොඩ්ඩක් ඔය දිගේ අපි උඩට ගියා. මෙහෙම යද්දි තව පොඩි දියඇල්ලක් හම්බවෙනවා. ඒක මම හිතන්නෙ සේදමල් ඇල්ල.

උඩවන්නිමාන රුප්පෙ






 අපි ඒකත් බලලා අඩි පාර දිගේ ඉස්සරහටම ගියා. ඔන්න ආයෙමත් අඩි පාර ඉවරයි! කඩුල්ලක් බැඳලා. කඩුල්ලත් පාස් කරගෙන් ඉස්සරහට ගිහින් බලද්දි එහෙන් පාරක් නෑ කියල තේරුනා. එදත් වාතවෙන්න බැරි නිසාත්, රෑ බෝවීගෙන ආව නිසත් ඊට පස්සෙ ඉතින් අපි එදා රාත්‍රියත් රුප්පෙ ගතකරන්න තීරණය කළා. ඒත් තව ප්‍රශ්නයක්. අපි හතර දෙනාගෙන් දෙන්නෙක් කියල තියෙන්නෙ අද ගෙදර එනව කියල. ගෙවල්වලට කිව්වෙ නැත්තන් ඒ මිනිස්සු බය වෙනවා. රුප්පෙට සිග්නලුත් නැහැ. ඉතින් අරුන් දෙන්නා ආපහු අඩිපාරෙ උඩහට ගියා කෝල් එකක් ගන්න.  ගමේ කෙනෙක්ගෙන් කෝල් කරල අතනින් බහින විදියත් අහගත්තා. කඩුල්ල ගාවින්ම බහින්නලු තියෙන්නෙ හෙමීට.


 අපි ඒ ගමනේ අවසන් රාත්‍රියත් ඒ විදියට රුප්පෙ මුලදි ගත කලා. එදානම් රිලැක්ස් එකේ හිටියෙ. දැන් ගම කිට්ටුවනෙ. බය වෙන්න දෙයක් නැහැ. අපි ඉතින් ඊලඟ දවසෙ උදෙන්ම බතකුත් කාලා පල්ලම් බහින්න පටන් ගත්තා. ගමේ කෙනා කිව්ව විදියට කඩුල්ල ගාවින් හෙමීට බැහැගෙන දියකැරැල්ල අඩිපාරට බැහැගත්තා. දියකැරැල්ල ඇල්ල ට ටිකක් පහලට ගිහින් හොඳට නාගත්තා. දවල් වෙද්දි අපි පතන උඩදි දැකපු වෙල්යායටත් ලඟා වුනා. එතකොට ඉතින් ජයග්‍රාහී හැඟීමක් ආවෙ. දවස් දෙකක වගේ ගමනට අපිට අන්තිමේ දවස් හතරක් ගියානෙ. එතනින් කඩමණ්ඩියට ගිහින් බොලෙරෝ එකක් කතාකරගෙන හුන්නස්ගිරියට ආවා. ඔය විදියට තමයි ඒ ගමන ගලාගෙන ගියේ. ගමනෙ රූප රචනය චැනල් එකේ තියනවා. 



 

 

Sunday, September 29, 2024

කඳුගැට බැස බැස නාරංඅත්තට

 

 ඉතින් ගමන ගැන  photos එක්කම කියවන් යන්නකො.  ඇත්තටම අපේ ප්‍රධාන target එක වුණේ නාරංඅත්තට බහින එකමත් නෙමෙයි.  ඒ target එක miss වුණා. මොනව කරන්නද  ඉතින් මේ ගමන්වල හැටි ඔහොම තමයි.

මුලින්ම මේ විදියට කැලේ කඩාගෙන තමයි පහලට ගියේ  අපි
මුලින්ම මේ විදියට කැලේ කඩාගෙන තමයි පහලට ගියේ  අපි


දිය සීරාව ටිකෙන් ටික කුඩා දියපාරක් වෙනවා...

අපි කැලේ මැදින් යනවා


 
 
ඒ අතරෙ සුපුන් විහිළු කතා කියනවා.




ඔන්න දැන් වතුර පාර කලින්ට වඩා ටිකක් සරු වෙලා

 







සතෙක්ගෙ කුර සටහන් 







අතරින් පතර පොඩි විවේකයක්










ඕකිඩ් වර්ගයක් වගේ

















මෙතනින් පස්සෙ තමයි දුෂ්කර කොටස පටන්ගන්නෙ
















ඔන්න අපි පළවෙනිම ඩ්‍රොප් එකට ආවා.මෙතන චූටි දිය ඇලි දෙකක් තියෙන්නෙ







ඔන්න බහිනවා පළවෙනි කොටස




මෙන්න මෙයා තමයි අපට එදා හමුවුන ඒ පළමු වෙනි දියඇල්ල 



එයා‌ මල්වලින් සැරසිලා හිටියෙ මේ වගේ




අඳුරගන්න පුළුවන්ද බලන්න කඳු ටික. ඈතින් උලක් වගේ පේන්නෙ සුදුගල.  සුදුගලට මෙහායින් තියෙන උසින් අඩු කන්ද පෙට්ටි කන්ද / පෙට්ටිගල හෙවත් යකුන්ගේගල කියල හැඳින්වෙන කන්ද
 



අර දියඇල්ලත් එක්කම තවත් පොඩි එකක් තියෙනවා.අපි මේ ඒක බහින ගමන්






ඒකත් හරි. 



වැඩි දුරක් යන්න වුණේ නැහැ මෙන්න තවත් දියඇල්ලක්







ඒ දියඇල්ල බහිද්දි මුලින්ම මිලාන් අයියා තමයි පහලට බැහැලා අනික් අයව ගන්න support  එක දුන්නෙ







මේක තමයි දියඇල්ල









තව ටික දුරක් යද්දි මෙහෙම දෙබොක්කාවක් හම්බවුණා






පෙනුනු විදියට දෙපැත්තෙන්ම තිබුණෙ ප්‍රපාතය වගේ නිසා අපි දෙබොක්කාව මැද්දෙන් යන්න තීරණය කළා











ඔන්න ඔය  කඩන් වැටුණු ගහේ   ආධාරයෙන් තමයි අපි බැහැගත්තෙ  























ඒකත් බැහැගත්තා




එතනින් කැලේට දාගත්තා ආපහු අපි 









මෙන්න මෙතනින් පහලත් තව ප්‍රපාතයක්. ඒක බැහැගන්න කලින් අපි මෙතනදි අපේ දවල් කෑම ගත්තා.







මෙන්න මේ දියඇල්ල තමයි ඒ ප්‍රපාතයේ තිබුණෙ. අපි බැහැගන්න විදියක් හොයල හොයල අන්තිමට...





දියඇල්ලෙ ඉඳන් ටිකක් වම් පැත්තට ගිහින් කැලේ මැද්දෙ පොඩි කාණූවක් දිගේ බැස්සා. මේකත් බහිද්දි ලිස්සනවා. ගල් කැට පෙරලෙනවා. අඳුරත් ටික ටික එනවා ඒ මදිවට. මේක දිගේ බැහැල බැහැගන්න පුළුවන් වෙයිද කියල 100% විශ්වාසයක් නොතිබුණත් ඒ වෙලාවෙ තිබුණු තත්වය එක්ක අපි ඒ තීරණය ගත්තා.  ආපහු කන්ද දිගේ පැත්තකට ටික දුරක් ගිහින් බහින්න හිතුණත් සිතියම්වල   විදියට දියඇල්ල දෙපැත්තෙන්ම තිබුණෙ තනි හෙල්.



















දෙවියන්ගෙ පිහිටෙන් අපි අරගෙන තිබුණෙ නිවැරදි තීරණයක්! අපි දියඇල්ලෙ ඩ්‍රොප් එක බැහැගත්තා



ඉතින්  මේ ඩ්‍රොප් එක බැස්සට පස්සෙ කැලේ අඳුර වැටෙන්න පටන් ගත්තා. ඉස්සරහින් මොන විදියෙ ඩ්‍රොප් 
සහ අභියෝග  මුණගැහෙයිද කියල නොදන්න නිසයි, සතුන් සර්පයින්ගෙන් තිබුණ අවදානමයි නිසා අපි තීරණය
කළා අපිට හම්බෙන හොඳම තැන කඳවුරු බඳින්න.
ඒත් ඉතින් ඉස්සරහට යනව යනව ඒත් ලස්සනට සැප නින්දක් දාන්න පුළුවන් විදියෙ  තැනක් අපිට හම්බවුණේ නැහැ. අන්තිමට වතුර පාර අයිනෙ තිබුණු ටිකක් ආනත ගල් තලාවක එදා රාත්‍රිය අපි ගත කරන්න තීරණය කළා.





අපේ කඳවුරු භූමිය.මේ ඊලඟ දවසෙ උදේ 



මෙතන කඳවුරක් බඳින්න සුදුසු තැනක් නම් නෙමෙයි කොහොමත්. ගලත් ආනතයි. අනික වතුර පාරටත්
ලඟ වැඩියි. ඒත් අවස්ථාව අනුව එහෙම තීරණයක් ගන්න වුණා අපට. එදා රෑත් ටිකක් වැස්සා.











                        මෙයාව අඳුරනවද බලන්න. මේ තමයි දුම්බර අං කටුස්සා





                                              මෙයාවත්  අඳුරනවද බලන්න ??




මේ වගේ ලස්සන පරිසරයක් එතන තිබුණෙ





අපි කාලා බීලා ආපහු පහලට බහින්න පටන් ගත්තා. අපි නාරංඅත්ත ඔයට ගොඩක් කිට්ටුවෙලා තිබුණෙ කලින් දවසෙ හවස් වෙද්දි. තරමක ආනතියක් තිබුණත් කලින් දවසෙ වගේ බැහැගන්න දුෂ්කර තැන් අපට හමුවුණේ නැහැ මෙතනින් පස්සෙ. පොඩි පොද වැස්සකුත් උදේ ඉඳන් තිබුණා.







    මහ කැලේ මැද්දෙ මෙන්න බොලේ තොප්පියක්. 




මෙතන ගමනෙදි දැකපු ලස්සනම තැනක්.‍‍‍





  වනරාජ





 අපට   ටිකක් උඩින් දියඇල්ලක්  වගේ දෙයක්  ගස් අතරින් පෙනුනා. අපි කැලෙන් බැහැපු නිසා මඟහැරෙන්න ඇති.

















ඔන්න අපි නාරංඅත්ත ඔය ලඟට ආවා!






                           නාරංඅත්ත ඔය දිගේ බහින ගමන්  කෝඩියල් හදාගෙන බොනව මේ































මේ හරියෙ ටිකක් හෙල වගේ  තිබුණා.පරිස්සමින් යන්න වෙනවා. වැස්සත් නිසා තවත් අවදානම්.







 දියඇලි හංදියට ලං වෙද්දි එක ලඟ දියඇලි කිහිපයක්ම තිබුණා. මේ වෙලාවෙ  gopro එකත් off  වෙලා.Phone එකෙන් හරියට photos ගන්නත් බැහැ වතුර ගිහින් නිසා.Focus වුනේ නැහැ හරියට.











ඔන්න අපි අන්තිමේදි දියඇලි හංදියටනම් ආවා. ඒත් අපට නොදැනීම වතුර වැඩිවෙන්න පටන් අරන් තිබුණා.
නාරංඅත්ත ඔයට මහගඟත් එකතු වෙලා වතුර පාර සැර තවත් වැඩියි. අපි මේ වෙලාවෙ මහගඟ ලඟින්ම 
නාරංඅත්ත ඔයේ වම් පැත්තෙ ඉවුරට ගොඩ වුණා. 

මේ වෙලාවෙ මුලින්ම ගියේ කෙෳෂික සහ සුපුන්.  ඊට ටිකකට පස්සෙ තමයි මමත්, මිලාන් අයියත්
රියෝ අයියත් නාරංඅත්ත ඔය අයිනෙන් හෙමීට වම්පැත්තෙ ඉවුරට ගොඩවෙන්න පටන් ගත්තෙ.
ගල්පතුරක් දිගේ තමයි යන්න තිබ්බෙ. තඩි බෑග් එකත් එක්ක බැලන්ස් එකේ යන්නත් අමාරුයි. කලබල වෙලත් එක්කනෙ. නිකමට කෝට්ටක් දාල බලද්දි බැහැල යන්නත් බැරි ගානට වතුර වැඩියි. 

බෑග් එක මුලින් යවලා ඊට පස්සෙ මම  ගල්පතුර දිගේ ගියා. ක‌ෙෳෂික ඉවුරෙ ඉන්නව මාව ගන්න.

" ඔය ගල් පතුරෙ කකුල තියල වරෙන්!"   කෙෳෂික මට කියනවා.

කෝ ඒත් ගල් පතුරක්.

ඒ පොඩි කාලය අතරතුරදි කෙෳෂිකලා ගොඩවුන ගල්පතුරත් වැහෙන්න දැන් වතුර දාලා.
කොහොම හරි ගල්පතුර තියෙන තැනත් හොයාගෙන දෙයියන්ගෙ පිහිටෙන් ගොඩට ආවා. ඒ එද්දි
අන්තිමම කොටස කොහොමත් වතුරට බැහැල එන්න තිබ්බෙ. එතනින් එද්දි පපුව මට්ටමටත් ටිකක් ලංවෙන්න වතුර. ඉතින් මිතුරනි phone  එක  වතුරෙ ඔබල ගත්ත වගේ තමයි. 

දැන් අපි වම් ඉවුර දිගේ ඉස්සරහට ඉස්සරහට වැස්සෙ යනවා.

ඔන්න සෙට් වුණා ගල් බිත්තිය. අපිට ඉස්සරහට යන්නත් බැහැ. වතුර පාර සැර cross නිසා කරන්නත් බැහැ.

අපි කොටු වෙලා...

දැන් කට්ටිය ටිකක් කලබල වෙලා. 

මොකද අපි plan කරගෙන හිටියෙ දෙවෙනි දවසෙ  රෑ වෙද්දි infinity හරියට යාගන්න. ඒ හරියෙදි සිග්නල්
තියෙන නිසා ගෙදරට කතා කරන්න පුළුවන්නෙ. කලින් දවසෙ ගෙවල්වලට කතා කලෙත් නැහැනෙ.අපි සාමාන්‍යයෙන් මේ වගේ ගමන්වලදි දවසක් දාගන්නව වැඩියෙන්. ගෙවල්වලටත් ගෙදර එන දවස කියන්නෙ worst case scenario  ගැන හිතල අමතර දවසත් එක්ක. ඒත් මේ පාර අපි එහෙම කළෙත් නැහැ. 

ගෙවල් පැත්තෙත් වහිනවද දන් නෑ
ගෙවල්වල මිනිස්සු බයවෙලා පොලිසියට කියයිද?
නිව්ස්වලත් ඉන්න පුළුවන් වෙයිද ? 

දැන් අපිට  මතක් වෙනව 

වැස්ස කොච්චර වෙලා වහියිද ?
හෙට උදේ වෙද්දිවත් පායයිද ?
වතුර මට්ටම අඩුුුුවෙයි ද?

වම් පැත්තෙ ඉවුර දිගේ ගිහින් දූවිලි අඩිපාරට සෙට් වෙලා එතනින් ඇටන්වල පැත්තට යන්න කොහොමත් බැහැ.ඉස්සරහ ගල් බිත්තිය නිසා. ගියත් ආයෙත් මේ වගේම ලොකු වතුර පාරක්  cross කරන්න වෙනවා වැද්දහේන ඔය කියල.


අපට තිබුණෙ options 2 යි

1 -  ලේසි තැනක් තියේද කියල ඔය උඩහට පහලට ගිහින් අමාරුවෙන් හරි cross කරල දකුණු ඉවුරට යාගන්න එක

2 - හෙට උදේ වෙද්දි වතුර මට්ටම අඩු වෙයි කියල හිතල මේ ඉවුරේ පුළුවන් තැනක camp කරන එක


1 වෙනි options එක ගොඩක් අවදානම් වැඩියි කියල තේරුණ නිසා අපි අන්තිමේදි තීරණය කළා. දෙවෙනි රාත්‍රිය නාරංඅත්ත ඔය  අයිනෙ කඳවුරු බඳින්න.


ඉතින් හෙට උදේ වෙද්දි වතුර අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් අපි කාලා බීලා  නිදාගත්තා.

ඒත් මට නින්ද යන්නෙත් නැහැ. වතුර මට්ටම ගැන හිත හිත ඉන්නවා


අපි ඔන්න රෑ නිදාගෙන ඉන්නවා ටෙන්ට් එකේ. ඒත් මෙන්න යකෝ  ටෙන්ට් එකේ දොර ඇරලා. 
මීටර් 2 විතර ඉස්සරහින් ඔන්න එතකොට රතු පාට ඇඳුමක් ඇඳගත්ත ගැහැනු කෙනෙක් ( මතක විදියට ඉන්දියන් හැට්ටයකුයි සායකුයි වගේ ඇඳුමක්)  ටෙන්ට් එක ඉස්සරහින් එක පැත්තක ඉඳන් අනික් පැත්තට ඇවිදගෙන යනවා.  එතකොටම මම බය වෙලා ඇහැරුණා. පුදුම හීන  පේන්නෙ.

කොහොම හරි මම දෙවියන්ට හිතෙන් බාරයක් වුණා අපිට කරදරයක් නැතිව  ගෙදර යාගන්න ලැබෙන්න කියලා.


ඉතින් දෙවියන්ගෙ පිහිටෙන් එදා රෑ චුට්ටක්වත් වැස්සෙ නැහැ. කලින් දවසෙ චණ්ඩ වුණ නාරංඅත්ත කුමාරයා  නිමිලා. වතුර මට්ටම හොඳට අඩුවෙලා. ඉතින් අපි කාලා බීලා ඉක්මනටම කරගෙන දූවිලි අඩිපාර හම්බවෙනකන්
දකුණු ඉවුර දිගේ ආවා.




මෙතන තමයි කඳවුරු බැන්දෙ අපි





කලින් දවසෙ ඔය ගල් එහෙම හරියට පේන්නැති වෙන්න වතුර









                    මේ තියෙන්නෙ අපිට දකුණු ඉවුරෙදි හමුවුණ දෙබර කූඩයක්. දැක්කද ???




යාන්තම් දූවිලි අඩිපාරට ආවා අපි.




  අපේ එක්කෙනෙක්ගෙ කකුලත් පොඩ්ඩක් අවුල් ගිහින් තිබුණෙ. ඒ නිසා අපට ගමට යද්දි කීය වෙයිද කියන අවිනිශ්චිතතාවත් තිබුණා





 දූවිලි  අනන්ත තටාකය










 මේ ගිනිකූරු ඇල්ල මුදුන .මෙතෙන්ට අපි ආව කලින් දවසෙ ආව නිම්න  බලාගන්න පුළුවන් දල වශයෙන්.
 ඈතින් ගොම්බානිය, යකුන්ගේහෙල එහෙම පේනව.



 මතක විදියට අපි ගමට එද්දි රෑ හත හත හමාර වුණා.  අපි ගමට එන්න කලින්ම රණමුරේ ඔයෙන් නාගෙන ඇඳුම් මාරුකරගෙන ආවෙ. කොහොම හරි රෑ 12.30 විතර වෙනකන් අපට  ගුරුවෙල හංදියට වෙලා ඉන්න වුණා බස් එකක් එනකන්.


ඉතින් මිතුරනි, ඔය විදියට තමයි තවත් අමතක නොවන චාරිකාවක් නිමා වුණේ. මේකෙ වීඩියෝ එක මගෙ 
එකෙන් බලන්න පුළුවන්. ඒත් ඉතින් ඒකෙ අර සුපිරිම කට්ට කාපු කොටස නම් නැහැ! 
එහෙනම් ජය වේවා තවත් දවසක හමුවෙනකම්! 

ගයියා 


https://youtu.be/IBBlfJGN08M


රැහැන කෙටූ පතනින් මීමුරේ ගිය හැටි

  මේක අවුරුදු කීපයකට කලින් ගිය ගමනක්. ඒ දවස්වල මම   එක්තරා සිද්ධියක් හින්දා පොඩ්ඩක් අවුල් ගහල  හිටියෙ. ඉතින් ඒ වගේ අසනීපයකටත් නොවරදින ඔසුව ද...